Friday, October 17, 2014

නුබ නොදත් පෙම්වතා



අහම්බෙන් එක් දිනක්
නුබේ රුව හිනහුනා
හද ගැබේ සැඟව තිබු
කව් පදත් පිබිදුනා...

නෙත් කැලුම් දකින්නට
නෙතට පි ඇත කියා
බෝ කලක් නුබ යනෙන 
මග නොදැන තනි උනා...

මල් කැකුල දකින්නට 
හද හෙමින් කියු නිසා
නුබ සිටින තැන් බලන්
නෙත් යොමා සැඟවුනා...

මුවෙහි ‍රැඳි සිනා පොඳ
සඳ මඩල මෙන් කියා
නුබට රහසින් ‍රැයක 
කව් පදත් ඇමිනුනා.....

නොකියාම එක් දිනක්
නුබ හොරෙන් බැසගියා
නෙත් කැලුම් පද වැනුම්
හදෙහි ඉතිරිව තියා....

නෙත ගැ‍ටුනු දින පටන්
තවම නුබ සිත පතා
සිව් වසක් හිඳින මම
නුබ නොදත් පෙම්වතා...... 

Tuesday, July 22, 2014

ප්‍රේමයේ මළගම....


සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....

පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි නොතනියට අත අල්ලාගෙන සොඳිනා
කුමරෙකු සිටිනු අදහා ගනු බැරි කරුනා...

ඉවසා තවත් කෙලෙසක මා හිඳින්නද
හද බැඳි උතුම් පෙම නිම කර දමන්නද
කෙලෙසක තවත් නුබ මාගේ සිතන්නද
මා පෙම් කලේ මේ ලෙස දුක් ලබන්නද.....

පිවිතුරු උතුම් යැයි කී පෙම නිම කරමි
හදවත බැඳුන පැතුමන් උගුලා දමමි
හිරු ‍රැස් ඉවසාන තනිවම වල කපමි
දෙනෝ දහක් මැද පෙම වලලා දමමි....

                                                                                                             .....හිතුවක්කාරයා.....

Tuesday, June 10, 2014

කවිය අද

අවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි කියල හිතෙනවා.. මන්දයත්, එදා වගේම අදත් රසවිදනයෙන් යුත් මිනිසුන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමානයක් නිසා...
                          
                             කවියක පද අමුනන්න, කව් පදයක් කියවන්න, ඒ කව් පද රසවිදින්න තරම් රසාලිප්ත හදවත් අද හොයාගන්න නැති තරම්.. එහෙව් කාලේ කවියට මේ වගේ තත්වයක් උදාවීමත් පුදුමයක් නෙවෙයි. රසවින්දනය හීන උන ජාතියක, ඉදිරි ගමන් මගේ දිශානතිය කුමන දිශාවකට යොමුවේදැයි එදා වගේම අදත් මගෙ හිතට වදදෙන ප්‍රශ්නයක්.......

මේ එදා මම ලියපු ඒ කවිය.. 

''කවියටම සිත පුද කරමි මම කවිය මගෙ ලෝකය නිසා
මා ලියූ කවි මමම කියවමි රසවතුන් ලොව හිඟ නිසා
කවට කිසිදින නිගා නොකරමි මරා දැමුවත් හිස ගසා
කළාවට ලැදි සහුදය නුබ කිමද ඉන්නේ නෙතු වසා....''

එදා සිටි පඬිවරුන් ලියු ඒ පද්ය පොත් ඇත් සැඟවිලා
සිරිත් මල්දම සුභාෂිතයද කඩල කඩයට විකිණිලා
තිසර මයුරද හන්ස සදෙසුත් කාවෝ ගුල්ලෝ වනසලා
අහෝ දෙවියනි කළාවක හැටි ගොමරිටිත් බසිති ගිලා....''  

                                                                                                                   
                                                                                                              ..............හිතුවක්කාරයා.........

Saturday, May 17, 2014

විභාගයේදී......



සැරිසරමි මා
විශ්වය සිසාරා
සඳේ ආවාට මැදින්
තරු පොකුරු තුලට වැද
අඟහරුද සෙනසුරුද පසු කරන්
ආලෝකයේ වේගයද ඉක්මවා.....

නොදැනීම ගොස් වැ‍ටුනි
අඳුරු කළු කුහරයක
දෑසැරන් බැලූ කල
     අහෝ මා පමා වැඩී.....

එවිට
මා
         විභාගයේ...........

                                                                                                                     .......හිතුවක්කාරයා.......

Thursday, May 15, 2014

සඳ ඇති අමාවක...



අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.
                           ඒත්... කාත් කවුරුවත් නැති මේ නිහඩ රාත්‍රිය, එහෙමත් නැත්නම් සඳ එලිය වැ‍ටුන පාලු මූසල රාත්‍රිය ඇතුලෙ මම තවමත් එක දෙයක් හොයනව.එදා වගේම අදත්.... අද වගේම හෙටත් ඒ වගේම සොයාවි... ඒ වෙන කිසි දෙයක් නෙවෙයි. මමවත් නොදන්න දවසක, මේ වගේම පාලු මූසල රාත්‍රියක මාව දාලා ගියපු සැනසීම... මගේම කියල මට තිබුනු සැනසීම.. 
                                                   මූසලකම, පාලුව රජ කරන මේ රාත්‍රියේ හඳට කරන්න පුලුවන් දෙයක් නෑ... හඳ කියන්නෙත් මේ ලෝකෙ ඉන්න තවත් එක පරපෝශිතයෙක් විතරයි. 
                                                                        හිතේ තියෙන අමුතුම හැගීමක් මේ පාලුව ඇතුලේ දෝන්කාර දෙනවා. හැමදාමත් රාත්‍රිය පුරා හොයන සැනසීම කවදාකවත් මම දැක්කෙ නෑ. අමාවක දවසට හඳ නැති ‍රැට තියෙන පාලුව, මූසලකම, තනිකම හඳ පායන පෝය දවසටත් එහෙමමයි... වෙලාවකට හිතෙනව ඇයි මේ මම හඳ එලිය ඇතුලෙ සැනසීම හොයන්නෙ කියලත්.... අද පායන හඳ නෙවෙයි හෙට... හෙට පායන හඳ නෙවේ අනිද්දට... ඒත් හිතේ හැම මොහොතක දූන්කාර දෙන, ඉකි ගගහ අඩන, විලාප තියන තනිකම කවදාවත්ම වෙනස් වෙන එකක් නෑ. සැනසීම කිය්ල දෙයක් කවදාවත්ම හිතේ රජ කරන එකක් නෑ.. හිත ඇතුලට සැනසීම එනකම් හිත ඇතුලට හඳ පායන එකකුත් නෑ.. ඒ කියන්නෙ හිතේ හැමදාම අමාවක රජ කරාවි... වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා..

කලුවර පිරී ඇත දසතම වෙලාගෙන
කිරි පැනි බෙදූ සඳ කොහිදෝ සැගවගෙන
හීන් සුළන් ‍රැලි තනියට හිදින කල
කොතරම් සුන්දරද සඳ නැති අමාවක

                                                                                                                       .......හිතුවක්කාරයා.......

Saturday, March 22, 2014

උබලා කවුරුවත් මාව පිලිගන්න අවෙත් නෑ....
මාව ගනන් ගත්තෙත් නෑ....
මට කතා කලෙත් නෑ.....
ඒක නිසා මම දැන් යනවා......

හැබැයි මට උන මේ අසාධාරණය වෙනුවෙන් මම පුලුවන් උපරිම තැනට පැමිණිලි කරලා උබලා හැමෝම හිරේට දාලා මම ලොකු වන්දියක් ගන්නවා...

එතකොට මම ලොකු පොහොසතෙක් වෙවි.......
වහනයක් ගන්න පුලුවන් වේවි.......
ලොකු ගෙයක් හදන්න පුලුවන් වේවි.......
ලස්සන කෙල්ලෙක් බදින්න පුලුවන් වේවි.....
එතකොට උබලා හැමෝම මාව ගනන් ගනීවි....

හැබැයි එතකොට මම 
උබලව ගනන් ගන්නෙ නැ....
එතකොට උබල මට විරුද්දව නඩු දාලා

මගෙන් වන්දි ගනිවි.....
මට ගෙදර නැති වේවි...
වාහනේ නැති වේවි.....
කෙල්ල නැති වේවි....
 අයෙම උබලා මාව 
ගනන් ගන්නෙ නැති වේවි.....

එතකොට මම අයෙම 
උබලට විරුද්දව නඩු දානවා
උබලව හිරේට යවනවා....
ලොකු වන්දියක් ගන්නවා....

ආයෙම මම 
ලොකු පොහොසතෙක් එතකොට.....

මම ලොකු ගෙයක් හදාවි...
වාහනයක් ගනීවි.....
ලස්සන කෙල්ලෙක් බදීවි....
උබලා මාව ගනන් ගනීවි.....

හැබැයි එතකොට 
මම උබලව ගනන් ගන්නෙ නෑ....

අයෙම උබලා මට 
විරුද්දව නඩු දායි එතකොට....
මගෙන් ලොකු වන්දියක් ඉල්ලයි....
මාව හිරේ දායි.....
මම දුප්පත් වෙයි.....

මම නඩු දානව.....
වන්දි ගන්නව ......
පෝසත් වෙනව.....
හිරේ යනව.....
දුප්පත් වෙනවා....
ආයෙම.......
ආයෙම.......
ආයෙම.........
ආයෙම...........

                                              ......හිතුවක්කාරයා.......

Friday, February 14, 2014

ප්‍රේමය......

බලමි
මල්
 දහසක්...

සිබිමි
ඉන් මල්
 සියයක්....

වැළඳගමි
මල් 
දහයක්....

නමුදු

රස විඳිමි
එක් මලක් 
පමනක්....

                                                                                              -----හිතුවක්කාරයා----

Wednesday, February 5, 2014

ජීවිතය සොයන සකිසඳට.......


පොත් ගුලක් තුල වැද
පොත් පත් එකින් එක ඇද
සොයන්නෙ කිමක් දැයි
කියන් මා සකිසඳ.....

සරසවියෙ තුරුලෙ හිඳ
සිව් වසක් ගෙවා පොත් මැද
මෙතෙක් කල් ඇස නොගැටි 
ජීවිතය සොයනවද.......

මිනිසුන් අතර හිඳ
ගෙවු මුත් දිවිය සුසුම් මැද
පෙනෙන නොපෙනෙන ඉමක හිඳි
ජීවිතය සොයනවද

සොඳුරු අබුවක කාර බැඳ
විසල් මැදුරක දිවි ගෙවන සඳ
ඇසට අසුවන මායිමක නැති
ජීවිතය සොයනවද......

පොත් ගුලක් තුලට වැද
පොත් පත් එකින් එක ඇද
උපන් දා සිට ගෙවූ
ජීවිතය සොයනවද.....

                                                                        ----හිතුවක්කාරයා----

Monday, February 3, 2014

------------

ගමේ සැදෙන පිරිත් කො‍ටුව
නුබ කැටයමින් හැඩ වැඩ උනාදෝ
නුබේ ගෙපැල පිරිත් පැලේ
කැටයම් නැති උනාදෝ.........

පන්සලේ පල්ලියේ බිත්ති මත
නුබේ සිහින සිතුවම් උනාදෝ
නුබේ පැලේ බිත්ති සතර
සිතුවම් නැති උනාදෝ......

මගුල් ගෙයට සාජ්ජයට
නුබ සවියක් උනාදෝ
නුබේ ගෙදර සාජ්ජයට
තනුවක් නැති උනාදෝ......

සමුගෙන යන සැම දන වෙත
නුබෙ කවි කියවුනාදෝ
නුබ සමුගෙන යන මොහොතට
කව්පද නැති උනාදෝ.......

                                       -----හිතුවක්කාරයා-----

ප.ලි:- පුලුවන්නම් මේ කවි පද ටිකට නමක් කියන්නකො යලුවනේ.... මට හොඳ නමක් මතක් වෙන්නෙ නෑ... 


Friday, January 31, 2014

අවන්හලකදී......




අවන්හලක වූ කෙරවල            අසුනක
තනිවම ඉඳගෙන තොලගා         මදුවිත
දෑස'ඩවන් කර නිසලව             හිඳි විට
බමනව දැනෙනව ලෝකය        මා වට

ඇසුවා මතකයි පෙර යම්          දිනයක
පෘතුවිය බමනා බව             නිරතුරුවම
මේ නැරබුම් මැදිරියෙකැයි        මා හට
විඳිත හැකිය සිරි අසුනක        හිඳගෙන

හිඳිමි මා තිර ලෙස
නිරපේක්ෂව
දස දෙසින් ගලනා
දැඩි නිසලතාවක

පෙම් බඳිනෙම් මා                  මෙහි සිට
සසලවු ලොව රූ සිරි නිති        නැරබුම

                                                  -----හිතුවක්කාරයා--------

Tuesday, January 28, 2014

වර්තමානය.....

ජිවිතෙ සුන්දරයි.... පට්ටම පට්ට සුන්දරයි...  ඒත් අතීතීතය.. බොහෝ තැන් ක‍ටුකයි... අනාගතය... කොහොම වේවිද කියන්න දන්නෙ නෑ. හිතා ගන්නත් බැ. ඒත් වර්තමානය පට්ටම පට්ට විදිහට සුන්දරයි. මට තේරෙන්නෙත් මට දැනෙන්නෙත් එච්චරයි. ඔයාටවත් මටවත් අතීතයට යන්නවත් අතීතය වෙනස් කරන්නවත් බෑ. ඒත් ඔයාටත් මටත් අනාගතයට යන්න පුලුවනි. අන්නගතය වෙනස් කරන්නත් පුලුවනි. ඒත්.... ගෙවිගිය අතීතය, දැන් ගෙවෙන වර්තමානය වගේම අනාගතයත් යම් දිනෙක යම් ලෙසකට අපිට දැනේවි... අනේ මන්ද... හිතාගන්නත් බෑ. ඒත් ඒ ගෙවී ගිය ක‍ටුක අතීතයටත් කිසිත් නොදන්න අනාගතයටත් වඩා ගෙවී යන වර්තමානයට මන් ගොඩක් ආසයි... ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, වර්තමානය මට තේරෙන නිසා... මට දැනෙන නිසා.... වර්තමානය පට්ටම පට්ට විදිහට මට දැනෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.... මට අතීතයෙන් වත් අනාගතයෙන් වත් පලක් නෑ.... මට තේරෙන, මට දැනෙන වර්තමානය තිබුනොත් හොදටම ඇති........  

''වසා දමමි මුලු මහත් අතීතය
වසා දමමි අනාගතය
වර්තමානය පමනි ජීවිතය''

                                                  (මහගමසේකර- හෙට ඉරක් පායයි)

                                                                                                                           -----හිතුවක්කාරයා-----

Thursday, January 23, 2014

සොහොන් බිමක් කී කවක්.....



අරලිය ගස් බෝය සුදු මල් අතුරාලා
තැන තැන පස්  බෝය අලුතින් ගොඩ දාලා
ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා
නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා

සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ
අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ
මළහිරු බසින යාමේ එහි සැතපුනිදෝ
පාලුව මකන්නට කවුරුත් ළඟ නැතිදෝ

උළමෙකි ‍රැහැයියෙකි ඉඳ හිට හඬ නගන
නිසලයි මෙබිම් කඩ සැම දන පිය නගන
ආමුත් අළුත් අය සැමදා මෙහි නිතින
පාළුය සොහොන් බිම තනිකම ඇත සොඳින

                                                                          ---- හිතුවක්කාරයා ----

Saturday, January 18, 2014

EXAM.......(CAT)

          මේ දවස් වල එපා වෙලා.... CAT අස්සෙ හිරවෙලා මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනව...... හිතට කවි පදයක් වත් එන්නෙ නැති තරම් ඔලුව අව්ල් වෙලා...... CAT එකට කෙල උනොත් ඔක්කොම ඉවරයි. CAT ඉවර වෙලම නිදහසේ කවියක් දෙකක් ලියනව...... 

 මේ ලගදි කැන්ටිමේ ලියල තිබුනු කවියක් මතක් උනා. CAT එක ලන් උනාම හිතට කොච්චර පීඩනයක්ද කියල ඒ කවිය කියවපු ගමන් හිතුනා......

මේ අපේම සහෝදරයෙක්ගෙ හිතට CAT එක දැනුන හැටි.... 
 
                  


''CAT එක ළඟයි
අම්මෝ දෙවියෝ සිහිවෙනවා.......
ඉන්ජෙක් වෙන්න බෑ වගෙ
හිතට දැනෙනවා........''

(විවෘත විශ්ව විද්යාලයේ කැන්ටිමේ දුටු කුරුටු ගීයක්..)
                                                                         (CAT- continues assessment test)
                                                                             
                                                                                 -----හිතුවක්කාරයා----

Wednesday, January 15, 2014

සඳ.....

පෝදාට හිනහෙනා සඳ
ගස් වැල් කිරෙන් නහවනා සඳ
නුබත් මා අසල ඇති සඳ
තනි කමක් නොදැනේය සකිසඳ.....

ගගනත දිලෙන සඳ
රාහු විත් ගිල ගත් සඳ
නුබත් නැතිනම් සකි සඳ
කෙලෙස වාවනු කියන් මා හද....

බලමින් දෙසම සුපුන් සඳ
කව්පද අකුරු අමුනනා සඳ
නුබත් නැගුනි සිහියට
නුබයි නිබදව මා සරා සඳ....


                              -----හිතුවක්කාරයා----

Sunday, January 12, 2014

සුළඟ......



තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......

නමුදු නුබ.....

කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......

                                           -----හිතුවක්කාරයා----


Friday, January 3, 2014

වෙනසක්.......??????




ගුවන් ගැබ අවුරා
කලු වලා කෝඩ අතුරා
අකුණු සර වැදී හද
මුරුසන් වැස්සේ තෙමුනා....

හැරි හැරී බැලූ අත
මීදුම් සලු වටව ඇත
පා තබන දිශාවක්
හරියටම නිච්චි නැත......
?
?
?
?
?
?
?
?
?
?
?
?

වසා පැමිනි මීදුම් සලු අතර        මැද
රිදී ඉරක සේයාවක් දුටිමි             අද
තෙරක් නැතිව ගිය ජීවන ගමන   අද
රිදී ඉරෙන් අලෝකය          වැටේවිද


                                              -----හිතුවක්කාරයා----