Saturday, November 5, 2016

කොටුව දුම්රියපළ ඉදිරිපිට

කාකි ඇදුමන් ඇගෙහි ලාගත්
මාර සේනා නිතර යන එන
රක්ත වර්නෙන් උස්ව මොරදී
නුවර වැසියන් නිතර රැස්වෙන

අව්ව වැස්සට තෙමී දින සති
අට්ටාල වල රැය පහන් වන
රජුන් මැතිදුන් වසා නෙත් යුග
හනික පිම්මේ ඉගිල්ලී යන

වීදි පහනක එලිය මගහැර
අමාවක තැන් සොයා ඇවිදින
සරාගික නෙත් දහක් හොරැහින්
කස්ටමස්ලා සොයන් පැමිනෙන

කෙසග සිරුරක ඉරුනු වැරහැලි
දවටාන නාවර පෙරාගෙන
හැට්ට කටු ටොෆි ලොසින්ජර පොත්
ගන්න ලාබයි කියා විකුණන 

හීන කන්දක් හදෙහි සගවන්
තුට්ටුවක පඩිපතක් හිස ගෙන
දිනපතා දුම්රියෙන් ඇවිදින්
පනින්නට රතු ඉරෙන් දුවයන

මෙ'ලක සිරි විසිතුරු බලන්නට
මැණිකෙ උඩරට සොයා ලතැවෙන
අහල පහලක ඉගිල යන්නට
හඩින් ගුගුලන බොහෝ බස් යන

මෙපුර ඇවිදින යනෙන සකියනි
අසිරිමත් පුර වැයුම් නොගැයෙන
ස්වේත වර්නෙන් උස්ව හිනහී
සුවහසක් දන එතෙර කරවන


Sunday, October 9, 2016

ලියමනක්


රහට බත් නැති මාලු පිනි නැති
කැන්ටිමක් අපි ලගම තිබුනා
මිරිස් තුනපහ නොදුටු හොද්දක
කදුලු බිදු ලුනු රහට හැපුනා

තට්ටු පහ හය උසට හොස්ටල් 
ගජේ දාගෙන ඉන්න ලැබුනා
අනේ අම්මේ නින්ද එනකොට
කඩුපුලක මල් සුවද දැනුනා

මලක් දෑතින් ගත් කුමාරෙක්
ඊයේ හවසත් ඇවිත් උන්නා
නුහුරු හැගුමක් හිතට දැනුනත්
හීනෙනුත් බයවෙලා ඇඩුනා

උදේ ලෙක්චස් හවස ලෙක්චස්
පහුවදා ප්‍රැක්ටිකල් තිබුනා
දවස් දෙකකින් ගෙනත් දෙන්නට
ටියුට් මිටියක් අතේ රැදුනා

සෙමෙස්තරයක් ගෙවී අවසන
විබාගේකට වරම් ලැබුනා
නිදිමරාගෙන දාපු ගිරවගෙ
වදන් පේපරෙ උඩට වැටුනා

අනේ අම්මේ හිටියා දැන් ඇති
හීනෙනුත් අම්මාව  පෙනුනා
එක්ක යන්නට එන්නේ කවදද
චූටි දූ ඉකි ගසා හැඩුවා

@ඉරුනු පිටෙක ලියූ කවක්
ප්‍රදීප් ලක්ශිත | 2016.10.06